Sunday, July 20, 2014

ගමන - 1



මට හිතෙන දෙයක් කියන්නද?

අපි කව්රුත් ගමන ආරම්භ කළේ අම්මාගේ උකුලෙන්.

මතකද අපි ඒ කාලෙ ඇන්ද ඇඳුම්?

අම්මල අපිට මොනවා ඇන්දුවද මන්ද. අවශ්‍යතාවය වගේම අලංකාරයත් ගැන අම්මලගේ ආකල්ප වලට අනුව අපිට නොතේරෙන කාලෙ අපි ඇඳුම් අඳින්න ඇති. මම මෙතනදි අම්මල කියල බහුවචනෙන් කිව්වෙ ඇයි කියල ඔයාලට තේරෙනව ඇති මං හිතන්නෙ. අම්මට විතරක් තනියම  ඕව කරන්න දෙන්නෙ නැහැ අනිත් වටේට ඉන්න අය. දරුවෙක් හදන්න බැහැ තනියම. මව් කුසේ පිළිසිඳ ගන්නත් දෙන්නෙක් එකතු වෙන්න  ඕනා. අම්මයි තාත්තයි. ඊ ලඟට ආච්චිල සීයල මාමල නැන්දල පුංචිල බාප්පල අයියල අක්කල මේ හැමෝම විතරක් නොවේ අම්ම තාත්තගෙ මිතුරු මිතුරියො අසල්වැසියො මේ හැමෝම අපි මව් කුසෙන් එලියට එනතුරු ඉන්නෙ නොඉවසිල්ලෙන්. අප ඉපදුනාට පස්සෙ අපව අතපත ගාන්න, අපට කවන්න පොවන්න අපට ලස්සනට අන්දන්න ඔය කාටත් තියෙන්නෙ ලොකු  ඕන කමක්.

බලාගෙන ගියාම තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ කීවාට ඔය දෙකම වෙන හැටි බලන්න ලොකු පිරිසක් අප වටේට ඉන්නවා. අපි තනි නැහැ. ඒ අය අප තනි කරන්නේ නැහැ. එක අතකට අපට තනියම ඉන්නත් බැහැ.

අපි අපේ ජීවිතයට එක එක කාලෙදි එබෙන අයට  ඕන විධියට තමයි වැඩ කටයුතු කරන්නෙ. ඉස්සෙල්ලම අම්ම තාත්ත. සහෝදර සහෝදරියො, නෑදෑයො.

ඊ ලඟට ගුරුවරු, යහළු යෙහෙළියො, ඊ ලඟට ආදරවන්තයො ආදරවන්තියො ඊ ලඟට ගම් වැසියො, නගර වැසියො, රට වැසියො ජාත්‍යන්තර ජන සමාජය, විවිධ වෘත්තිකයො, කපටියො හොරු වංචාකාරයො ආත්මාරථකාමියො

අපි අද අඳින්නේ මොනවාද?
මං කියපු ඔය ජීවිතයට එබෙන අය පුරුදු කරපුව තමයි අපි අදත් අඳින්නේ.

ඔය ඔක්කොම පරම්පරා ගණනාවක් එකතු වෙලා හදාපු සංස්කෘතියකට අනුව තමයි අපි හැම දෙයක්ම කරන්නෙ. අපි කන හැටි අපි බොන හැටි අපි ඇවිදින හැටි අපි කථා කරන හැටි අපේ භාෂාව, අපි සෙල්ලම් කරන හැටි, අපි සිංදු කියන හැටි, අපි නටන හැටි, අපි දුක් වෙන හැටි, අපි අඩන හැටි, අපි බනින හැටි, අපි ආදරය කරන හැටි, අපි එකතු වෙන හැටි, අපි වෙන්වෙන හැටි. මේ හැම දෙයක්ම එක්තරා සංස්කෘතියකට අනුවයි.

ඒක එක්තරා රාමුවක්. ඒ රාමුවෙන් පිට පනින්න ලේසි නැහැ. එ් රාමුව ඇතුලෙ අපට එක්තරා ආරක්ෂාවක් තියනවා. හැබැයි නව අදහස් වලට බාධාවකුත් තියනවා.

ඒත් ඉතින් හැම දාම අනිත් අයට  ඕන විධියට අපව අන්දවන්න දෙන්න පුලූවනිද?

ඔබේ ගමන සැලසුම් කරන්නේ කව්ද? ඔබද අනිත් අයද?

ඇයි?
අපට බැරිද තරමක් දුරට හෝ අපේම ගමනක් සැලසුම් කරන්න.

එහෙම නම් මානසික අවදිය අවශ්‍යයි.
අවශ්‍යම දේ මානසික අවදියයි.
අපේ ජීවිත අපේම අතට ගැනීම අත්‍යවශ්‍යයයි.

අද සන්නිවේදනය දියුණුයි. ගමනා ගමනයත් දියුණුයි. හැමදෙනාම නැතත් බොහෝදෙනා මේ තාක්ෂණික ජයග‍්‍රහන වල ප‍්‍රයෝජන ගන්නවා. ඒ නිසා ලෝක ජන සමාජය කන හැටි බොන හැටි අඳින පළඳින හැටි සෙල්ලම් කරන හැටි නටන හැටි සිංදු කියන හැටි ආදරය කරන හැටි උයන පිහන හැටි ගෙවල් හදන හැටි හැම රටකම ඉන්න ජනයා දකිනවා. ලෝක ජන සංස්කෘතිය හැම රටකම මිශ‍්‍ර වෙලා. අපේ සංස්කෘතියෙත් මේ නිසා වෙනස් කම් ගොඩක් වෙලා තියනවා. හැලෙන ඒවා හැලෙනවා. එල්ලෙන ඒවා එල්ලෙනවා. එහෙම ඉබේ වෙන්න අරින්නෙ නැතිව හිතා මතා පැරණි නොගැලපෙන ඒවා හලල අවශ්‍ය ඒවා හොඳින් හිතා බලා එල්ලගන්නවනම් තමයි හොඳ. ඒකට තමයි මානසික අවදිය අත්‍යවශ්‍ය.

ඒත් රාමුවකටම කොටු වෙච්ච අය නොගැලපෙන දේ හලන්නෙත් නැහැ. ගැලපෙන දේ එල්ල ගන්නෙත් නැහැ.

තවත් සමහරු නොගැලපෙන දේත් එල්ල ගන්නවා. අත්‍යවශ්‍යම දේත් හැලෙන්න අරිනවා. එහෙම හරිද?