Sunday, October 14, 2018

ජන සම්මත සාහිත්‍යය.

ලක් වැසියා පුවත් පතෙහි  කර්තෘ ලෙස මාර්ටින් වික්‍රමසිංහ මහතා 1928 අප්‍රේල් මස 04  පළ කරන ලද  අවසාන කතුවැකිය.
ජන සම්මත සාහිත්‍යය.

මා මෙම ලිපිය උපුටා ගත්තේ 2018 සැප්තැම්බර් මාසයේ 21 වැනි සිකුරාදා ලංකාදීප පුවත්පතේ දැන්වීම් අතිරේකයෙන්. 2018 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය අවස්ථාවේ මට එහි පිටපතක් ලැබුනා. එය  කියවීමෙන් පසු එය මුලින් 1928 දී පළ වූවක් වුවත් එය අදටත් කොපමණ ගැලපෙනවාද යන්න සිතූ නිසා මෙය කාහටත් කියවා බැලීම පිණිස මේ ලෙස පළ කරන්නට හිතුණා. කියවලාම බලන්න. ඔබටත් ගත හැකි යමක් එහි තිබෙනවා.



 ජන සම්මත ආණුඩුවක් ලැබී තිබෙන මෙකල  අපට ජනසම්මත සාහිත්‍යයක්ද අවශ්‍යවේ. රජුන් ට උවමනා හැටියට රටක් ආණ්ඩු කළ කාලයේ රට පාලනය සම්බන්ධයෙන් වැසියන්ගේ අදහස් නොවිචාරන ලදී. එබඳු අදහස් විචාරීමක් අවශ්‍ය යයිද කල්පනා නොකරන ලදී. එබඳු කාලයක සාහිත්‍ය නිර්මාණයද රජුන්ට සේවය කළ පණ්ඩිතයන් අතේම තිබෙන්නට ඇත. වන්දි භට්ටයන් මෙන් රාජ සභා වර්ණනා කළ ඇතැම් කවීහු මහාජනයාගේ ප්‍රශංසාව නොව රාජ සභාවේ ප්‍රශංසාවම අපේක්ෂා කළහ. අප්‍රබුද්ධයනැයි අවඥා කොට සාමාන්‍ය ජනයා ඉවතට තල්ලු  කොට දැම්මාහ. හිතුවක්කාර රජුන් මෙන් එකල ඇතැම් පණ්ඩිතයෝද මහාජනයා ගැන නොසලකා රජුන්ටත් ඇමතියන්ටත් රාජ සභාවේ පණ්ඩිතයන්ටත් උවමනා දේම සම්පාදනය කළහ. ඒ නිසා එකල පණ්ඩිතයන්ටත් කවීන්ටත්  ආධාර ලැබුණේ රජුන්ගෙනි. මහජනයාගෙන් නොවේ. නමුත් දැන් තත්වය ඊට වෙනස්ය. දැන් සාහිත්‍ය නිර්මාණයක් කළ හැකි ග්‍රන්ථ කර්තෘ සොයන්නේ මහාජනයා‍ගේ ප්‍රශංසාවමය. ආධාරයය. මෙකල යම් යම් ශාස්ත්‍රීය පරීක්ෂණ වලට රජුන්ගේ හෝ ඇමතියන්ගේ ආධාර වුවමනා නමුත් සාහිත්‍ය නිර්මාණයට නම් හේ අවශ්‍ය නොවේ. මක්නිසාද සාහිත්‍ය නිර්මාණය මහාජනයා උදෙසා මහාජනයා අතරින්ම ප්‍රාදූර්භූත වියයුතු බැවිනි.

හිතුවක්කාර රජකු යටතේ වුවත් රටක් දියුණුවිය හැකිය. නමුත් එබඳු කාලයක ඇතිවන දියුණුව කෙතරම් උසස් වුවත් පොදුවේ රටවැසි කාටත් එකසේ යහපත සැලසෙන දියුණුවකැයි කියන්නට ලැබෙන්නේ නැත. රජුන්ට සේවය කළ පණ්ඩිතයන්ගේ සමයෙහි වුවත් රටක සාහිත්‍යයාගේ ඉතා උසස් දියුණුවක් ඇති විය හැක. නමුත් එසේ දියණුවූ සාහිත්‍යය පොදුවේ රට වැසියන්ට ප්‍රයෝජන ගත හැකි සර්ව සම්පූර්ණ සාහිත්‍යයක් වෙන්නට බැරිය. සාමාන්‍ය රට වැසියා පිළිබඳ විස්තර තොරතුරු ඇතුළත් පුරාණ ගද්‍ය පද්‍ය ග්‍රන්ථ සුලභ නොවෙත්. මෙය සාහිත්‍යය නිර්මාණය රජුන්ට සේවය කළ පණ්ඩිතයන්ටම අතහැර තිබීමෙන් සිදුවූ වරදකි. සාමාන්‍ය ජනයා අතර ව්‍යවහාර වූ මටසිළුටු මිහිරි සිංහල වචන රාශියක් අපට නැතිවී ගියේ ඇතැම් පණඩිතයන් ඉහත කී අදහස් ඇතුවම ග්‍රන්ථ නිෂ්පාදනය කළ බැවිනි. රජ ඇමතියන් කුමරියන් හා කුලීනයන් ටික දෙනෙකු පමණක් තෝරාගෙන ඔවුනට සිංහල ජාතියයි කිය නොහැක්කේය. සාමාන්‍ය ජනයාත් ඔවුනට එකතු කළ විට පමණක් සිංහල ජාතියයි කීම සාධාරණය. සාමාන්‍ය ජනයාගේ වාග් ව්‍යවහාරයේ පවත්නා වචන ඉවත දමා සකස් කර ගන්නා භාෂාව සිංහල භාෂාව නොවේ. සාමාන්‍ය ජනයාගේ අදහස් උදහස්, සිරිත් විරිත්, හැඟීම් වැලපීම්, සොම්නස් දොම්නස්, දුක සැප යනාදිය ඉවතලන ලද සාහිත්‍යයක් සිංහල සාහිත්‍යයක් වෙන්නට බැරිය.
දැනට අපට උවමනා කර තිබෙන්නේ සිංහල භාෂාව උගත් කාටත් පොදුවේ ප්‍රයෝජන ගතහැකි ජනසම්මත සාහිත්‍යයකි. එබඳු සාහිත්‍යයක් ඇති වෙන්නට රජ ඇමතියන්ගේ හෝ ආණුඩුවේ ආධාර උවමනා යයි ඇතැම් කෙනෙක් කල්පනා කරත්. හේ වැරදි කල්පනාවකැයි සිතමු. ආණ්ඩුව කෙතරම් ආධාර කළත් සිංහල සාහිත්‍යය කාළෝචිත පරිදි දියුණු නොවේ. සිංහල සාහිත්‍යය මහජනයා විසින්ම දියුණු කර ගත යුත්තකි. තුර්කි හේවායනුත් ප්‍රංශ නිලධාරීහුත් දුනහොත් මුළුලෝකයම ජයගන්නෙමැයි ප්‍රංශයේ මහා රණසූරයෙක් වරක් ප්‍රකාශ කෙළේය.  සිංහල පොත් පත් කියවා තේරුම් ගතහැකි පොත් පත් කියවීමේ ආශා ඇති සිංහලයන් පණස්දහසකුත් ග්‍රන්ථ සම්පාදනයෙහි යෙදෙන්නට පුළුවන් උගතුන් විසිතිස් දෙනෙකුත් ඇත්නම් අවුරුදු පණහකින් මෙහා පෙර අපර දෙදිග අනික් ඕනෑම රටක සාහිත්‍යයට ළං කළ හැකි සාහිත්‍යයක් මෙරටෙහිත් ඇති කිරීම අපහසු වේ යයි නොසිතමු. සිංහල පොත්පත් සුලභ කිරීමට උවමනා කරන්නේ ආණ්ඩුවේ ආධාර නොවේ. ආශාවෙන්  පොත් පත් කියවන පිරිසකි. සිංහල භාෂාව ඉගැන්වීම සඳහා දැනට වඩා උනන්දුවෙන් වැඩ කළහොත් සිංහල පොත්පත් කියවන පිරිස ඉක්මණින් වැඩි කර ගන්නට පුළුවන් වේ. පසුගිය පත්‍රයකින් පෙන්වා දුන්නාක් මෙන් වහාම ගම්වැසියන්ට සිංහල භාෂාව ඉගැන්වීම සඳහා විශේෂ උනන්දුවකින් ක්‍රියාරම්භ කළ යුතුව තිබේ.

දේශපාලනයෙහි කෝටිප්‍රාප්ත උගත් නීතිඥයා මෙන් ගම්බද කථිකයාද ජනසම්මත ආණ්ඩුව පවතින රටකට අවශ්‍ය පුද්ගලයෙකි. සාහිත්‍ය නිර්මාණයෙහි සමර්ථ කවිවරයාමෙන් කවිකොලකාරයාද සිංහල සාහිත්‍යයාගේ දියුණුවට අවශ්‍යය. කවිකොලකාරයා සාහිත්‍ය දියුණුවට මඟ හෙළිකරන්නෙකි.වැඩි උගත් කමක් නැත්තවුන් පොත් කියවන්නට පුරුදු කරවන්නේ කවිකොලකාරයා විසිනි. සිංහල භාෂාවේ දියුණුවට ඔහු කරන්නේ සංග්‍රහයකි. එහෙයින් ඔහුට ආධාර දිය යුතුය. අව්‍යක්තයන්ගේ එබඳු ග්‍රන්ථ වලින් සිංහල භාෂාවට කිසිම හානියක් සිදු නොවේ. මක්නිසාද ටික කලකින් එබඳු ග්‍රන්ථ අසම්භාවිතව මහාජනයා අතරින් නැතිවන බැවිනි.

පොදුවේ මහා ජන මතය ප්‍රකාශ වීම හිතුවක්කාර රජවරුන්ට අනභිමතය. එහෙයින් ඔවුහු වධබන්ධන නියම කිරීමෙන් වැසියන්ගේ කටවල් බඳිත්. අව්‍යක්ත ග්‍රන්ථ කර්තෘන්ගේ පොත් ප්‍රකාශ වීම නොඉවසීමද රජුන්ගේ යථොක්ත ක්‍රියාව මෙන් වැරදිය. අව්‍යක්ත ග්‍රන්ථ කර්තෘන් නැතිකරන්නට  කටයුතු කිරීමෙන් සිදුවන්නේ සාහිත්‍යාභිවෘද්ධියට බාධාවකි. ඉස්සරකාලේ රාජ ගෞරවය ලැබුනේ රජුන්ට මෙහෙ කළ කුලීනයන්ට පමණකි. නමුත් දැන් එසේ නොවේ. කම්කරුවෙකුට වුවත් උගත් කමක් ශක්තියක් ඇත්නම් රටටත් ආණ්ඩුවටත් සේවය කිරීමෙන් මෙකල උසස් රාජ ගෞරවය ලැබිය හැක. ග්‍රන්ථ  කර්තෘවරයන්මෙන් ගෞරව ලැබීමද මෙකල එක්තරා පන්තියකට සීමා වූවක් නොවේ.උසස් ගුරුවරයකුගේ පා සෙවනෙහි ඉගෙන ගත් පණ්ඩිතයාට මෙන් එබඳු ඉගෙනීමක් නොලැබූ නමුත් ස්වොත්සහයෙන් උගත් ගම්වැසියාට වුවත් ග්‍රන්ථ කර්තෘවරයෙකුට හිමි ගෞරවය ලැබිය හැක.

සිංහල භාෂාභිවෘද්ධිය සම්බන්දයෙන් පමණක් නොව තවත් පැත්තකින් බලන කලද සාමාන්‍ය ජනයාට ප්‍රයෝජන ගතහැකි ලිහිල් භාෂාවෙන් ලියන ලද සාහිත්‍ය ග්‍රන්ථ සුලභ කිරීම මෙකල ඉතා අවශ්‍ය බැව් වැටහේ. කුඩා සතකුගේ පවා දිවි තොර කිරීම මහත්වූ පාපයකැයි සලකන මිනිසුන් අතර මිනීමැරුම් ආදී භයානක අපරාධ වැඩිවීම මෙකල බොහෝදෙනෙකුට නොවිසඳිය හැකි ප්‍රශ්නයකි. ක්ෂණික කෝපය නිසා සිදුවන භයානක අපරාධ වැලැක්වීමට යෝජනා කරන ලද උපක්‍රම රාශියකි. සාමාන්‍ය ජනයාට ප්‍රයෝජන වන ලිහිල් භාෂාවෙන් ලියන ලද සාහිත්‍ය ග්‍රන්ථ සුලභ කිරීමද මෙකී අපරාධ අඩු කිරීම සඳහා යෙදිය යුතු අවශ්‍ය උපක්‍රමයක් මෙන් අපට වැටහේ. මනුෂ්‍යයන්ගේ අදහස් උදහස් හා හැඟීම් සකස් කිරීමෙන් විනීතභාවයට හැරවීමට කාව්‍යය, සංගීතය හා චිත්‍ර ශිල්පයටත් බලයක් ඇති බැව් බුද්ධිමතුන් විසින් පිළිගන්නා ලද්දකි. ශිල්ප ශාත්‍රාදියෙන් ක්ලේශයන්ගේ ප්‍රචණ්ඩභාවය අඩු කළ විට පමණක් සාමාන්‍ය මනුෂ්‍යයාගේ සිත ධර්මානුශාසනා නමැති බීජ රෝපණයට සරු බිමක් වන්නේය. එබඳු සකස් කිරීමක් නැති මනුෂ්‍යයකුගේ සිත්හි ධර්මාවවාද තැන්පත් කිරීම මෙකල නම් ඉතා දුෂ්කර බැව්  කිය යුතුය. එබන්දන්ගේ සිත්වල ධර්මාවවාද ගැන්වීමට තැත් කිරීම යටිකුරුව තැබූ කළයෙහි වතුර වත්කොට රඳවන්නට උත්සාහ කිරීම මෙනි. ආගම ධර්මය පිළිබඳ උසස් පොත්පත් සුලභව තිබියදීත් එයින් සැලකිය යුතු ප්‍රතිඵලයක් ඇති නොවීමට හේතුව එහි යම්කිසි අඩුපාඩුවක් නොවේ. බීජ රෝපණයට බිමද සකස් කරන්නාක් මෙන් ප්‍රකෘති ගති ගුණ වල සැර අඩු කොට ධර්මාවවාදයට  මිනිසුන්ගේ සිත් සකස් කිරීමට අවශ්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථ සුලභ නොවීම පමණක් පාඩුවකි.

ඉංග්‍රීසි භාෂාව උගත් අප රට සාමාන්‍ය ජනයා අතර ක්ෂනික කෝපයෙන් සිදුවන මිනීමැරම් ආදී අපරාධ අඩු බැව් කල්පනා කළ හැක. මීට හේතුව ඔවුන් සිංහල උගත් සාමාන්‍ය ජනයාට වඩා නුවණැති හෝ ආගමාලය ඇති කොටසක් වීම නොවේ. ඉංග්‍රීසි උගත් සාමාන්‍ය ජනයාගේ සිත් සකස්කෙරෙන ලිහිල් බසින් ලියන ලද කාලෝචිත සාහිත්‍ය ග්‍රන්ථ සුලභ වීම බැව් කල්පනා කළහැක. ඉංග්‍රීසි භාෂාව තරමක් දුර ඉගෙනගත් මනුෂ්‍යයාට පහසුවෙන්ම ලැබෙන ජනිත භාවය සිංහල පාලි සංස්කෘත යන භාෂා තුනම හොඳින් ඉගෙන නොගත්තෙකුට නොලැබියහැකිව තිබේ. ඊට හේතුව කුමක්ද? සාමාන්‍ය ග්‍රන්ථ සුලභ නොවීමයි. සිංහල පොත් පත් සම්බන්ධයෙන් දක්නා ලැබෙන මේ අඩුපාඩු පුරවන්නට තවමත් දක්නා ලැබෙන්නේ මඳ උනන්දුවකි.

Thursday, August 16, 2018

ගමන - 3

මව් කුසේ ඉඳල එලියට ආවේ මාදම්පෙ, ඉරට්ටකුලමෙ ගෙදරකට. 

1958 පෙබරවාරි මාසේ 11 වැනිදා රාත්‍රි 11.45 ට විතර. 

තාත්තා ඒ වෙලාවෙ ඉඳල තියෙන්නෙ නාත්තනඩියෙ ලූර්දු පල්ලියෙ සන්ධ්‍යා මෙහෙයට ගිතිකා කණ්ඩායමේ වාදනයට සහභාගි වෙමින්. 

පණිවිඩය අරං ගෙදර වැඩට හිටපු කොල්ලෙක් ව ඒ මහ රෑම පිටත් කරල තියෙන්නෙ අපේ ලොකු අම්ම වෙන්න ඇති මගේ හිතේ. උන්ද අන දුන්නොත් මොන සක්කරයද බල බල ඉන්නෙ.  

දෙයියො තමයි දන්නෙ  ඒකා කොහොම ගියාද කියල. 

ඒ කාලෙ දැන් වගේ ගමනාගමනය දියුණු නැහැ. සන්නිවේදනය දියුණුත් නැහැ. 

කොහොමහරි පණිවිඩය අහල තාත්ත ත් රෑම ආවයි කියමුකො. 

පහුවදා උදෙන්ම මෙන්න තාත්ත  ආයෙ පල්ලියෙ. මංගල්‍ය පූජාවට කන්තාරු කරන්නත් ඔනනෙ. එහෙම තමයි අපේ තාත්තගෙ හැටි. වැඩක් භාර ගත්තොත් ආයෙ මොන බාධාව ආවත් මග අරින්නෙ නැහැ. ගෙදර මොන ප්‍රශ්න තිබුනත් මුලින්ම රාජකාරිය. රාජකාරිය කිව්වට තාත්ත ඒව සැලකුවෙ දේවකාරියටත් ඉහලින්. මම හිතන්නෙ තාත්ත ඒ රාජකාරි, දේවකාරි සේරම පුදුම විධියට වින්ද කියලයි. අපේ මස් ලේ නහර වලටත් කිඳා බැස්සෙ ඒ ආරෙම තමයි.  අපි කව්රු උනත් මේ මොහොතෙ කරන වැඩට ආදරය කරන්න ඕනා. 

මම මේව ලියන්න ගත්තේ ඉපදිලා දශක හයකට පස්සෙ. ලියන්න තරම් දෙයක් තියනව කියල හිතුණු හින්ද. සමාවෙන්න ඹ්න. මේ සටහන සංස්කරණයෙන් තොරයි. (unedited story).  මෙ සටහන මගෙ යහලුවා තව පින්තාරු කරල ගනීවි.

තාත්ත ව දැකල සුවාමි ඇහැවිවලු '' පුතෙක්ද දුවෙක් ද බං'' කියල.පුතෙක් කීවම සුවාමි නමක් ලියල දුන්නලු '' ලූර්ඩ්ස් මේරියන් බර්නාඩ්'' කියල.ඊට පස්සෙ ඉතිං කී දෙනෙක් නම් මට නම් හැදුවද? 

ගෙදරට සාන්ති. ආදරේට සාන්තිය. අයියල අක්කලට තරහ ගියාමත් සාන්තිය. චාටුවක් කරල රවට ගන්න ඕන උනාම සාන්ති මල්ලි. අම්මට සාන්තිනී.  තාත්තට හැමදාම සාන්ති පුතා. රෙජීමාමා, ඔස්ටින් අන්කල් එහෙම කථා කලේ ගාම්භීර විදියට ''ශාන්ති" කියල. නෑදෑ නංගිල මල්ලිල කිව්වෙි සාන්ති අයිය කියල. පහු කාලෙක ගුරුවරුන්ට ලූඩ්ස් , යහලුවන්ට ලූඩා. මේ  හැම ආමන්ත්‍රණයක් එක්කම මට දැනුනෙ පුදුම ආදරයක්. 

ඒ ආදරය තමයි ලෝකය ගැන මා තුල මහා විශ්වාසයක් ගොඩ නැගුවේ.   

ඉපදුන ගමන් පොඩි එකා ගැන මොනවා ලියන්නද? අක්ක නම් කියන්නෙ එයාට තාත්ත මාව පෙන්නපු වෙලාවෙ එයාට නම් පෙනුනෙ කලුම කලු ගුලියක් වගේලු.  මේ කලු කම පහුකාලෙක මට මහත් වාසි  ගෙනාව වගේම මහ අමිහිරි අවස්ථාවලුුත් මට  ගෙනාව.  නම් පටබඳින අය දැම්මෙ මාර නම්.

දෙම...., ප........,  උ........,  හි........,     ......... තොර තොංචියක් නැතිව කියවගෙන යනවා.

කාගෙ කාගෙ හරි ජාන උැරුම  කර ගෙන මේ ලා්ෙකෙට ආවා කියමු කො.  ඉතින් පරිසරය ලබා දීපු කාල අවකාශ වක්‍රය දිගේ අවුරුදු හැටක්  ආපු විධිය බලමු. මම දන්නවා මගේ  නෑ හිත මිතුරු කවුරුත් ආශාවෙන් බලාගෙන ඉන්නවා ඔය කථාව කියවන්න. 

 

මේ බලු පැටිය බෘෘනා. අපේ ගෙදරට අාවේ අහම්බෙන්. වෙලාවකට හිතෙනව උන්ගෙ ජීවිතත් අපේ  වගේමයි කියල.  කව්දෝ පාර දාල ගිහින් කඩපිල් ගානෙ රස්තියාදු  වෙනකොට ගුණවතී අක්ක අපේ ගෙදරට ගෙනල්ල දුන්න.  දැන් ජාති  බේද  වර්ණ  බේද බලන්නෙ  නැතිව ඔය යහලුවෙකුත්  හොයා ගෙන  ඔය ඉන්නේ අපූරුවට.  යහලුවාගෙ නම බෙගී. (බෙගිමොත්)
බලු පැටිය බෲනා ගැන තව විස්තර කරන්න හේතුවක් තියනවා. ගුණවතී අක්කා එයාව අපේ ගෙදරට අරං එනකොට එයා ගැන බලන්නත් දුකයි. අපරාදෙ මට ඒ වෙලාවෙ එයාගෙ ඡායාරූපයක් ගන්න බැරි උනා. අව්වට වැස්සට වගේම කුසගින්නේ හිඳීමෙන්  හිටියේ වෙව්ලමින්. ඇටකටු පෑදිලා. ක‍ෙඳිරි ගාගෙන හරිම බයාදු විදියටය් අපි දිහාව බැලුවෙ.
අපේ ගෙදර ඉතින් මේ වගේ අයට අභය භූමියක්. ඒ වෙනකොට තව දෙන්නෙක් හිටිය. ඒ දෙන්නම බළල්ලු. මගේ බිරිඳත් පොඩිදුවත් ලහි ලහියේ ඌට අවශ්‍ය කරන කෑම, බෙහෙත්, නිදා ගන්න තැනක් මේ හැම දෙයක්ම සැපයීම ආරම්භ කළා.  මම මේ සේරම බලා ගෙන හිටියා.
ඒ එක්කම සාකච්ඡා ආරම්භ උනා එයාට අපේ ගෙදර නවතින්න දෙනවද නැද්ද කියන එක ගැන. මට එක පාරටම හිතට ආවේ ඌ සරණාගතයෙක් කියන අදහස. මමත් මගේ කැමැත්ත දුන්න. (මම කැමැත්ත දුන්නත් නැතත් ඒවා දැන් තීරණය කරල ඉවරයි.)


කාල බීල ඌ දිග  නින්දකට වැටුනා. ඒත් වරින් වර බය වෙලා කෑ ගහගෙන නැගිටිනවා. දොරක් ඇරෙන සද්දටෙත් බය වෙලා කෑ ගහනවා. ඒ බය ඇරෙන්න දින ගණනාවක් ගියා. දැන් එයාගේ මුහුන බලන කොට එයා ඉන්නෙ කොපමණ සතුටකින්ද කියල පෙනෙනවා.
දැන් ගේ පුරාම දුවන හරිම ක්‍රියාශීලී බලු පැටියෙක්. ආදරයට කරුණාවට මොන තරම් දෙයක් කරන්න පුළුවනිද. කිසිම වියදමක් නැතිව අපට කාට වුනත් දෙන්න පුළුවන් දෙයක් නේද?


දැන් ඉතින් මගේ කථාවට එමු.


මගේ ළදරු වියත් ලමා වියත් ගෙවුනෙ ආදරය උතුරා යන නිවසක. අම්මා තාත්ත විතරක් නොවේ ලොකු තාත්ත, ලොකු අම්ම අයියල අක්ක නෑදෑ හිතවත්තු කවුරුත් ඒ සම්බන්දයෙන්  මට ණය නැහැ. ගතින් මනසින් වැඩෙන කොට මට ලොකුම පිටිවහලක් උනේ ඒ ආදරය සහ රැකවරණයයි. ඒ අතින් මම හරිම වාසනාවන්තයෙක්.

අපි ඉපදෙන කොටම අපේ ජීවන රටාව ලියවිලා ඉවරයි.  බොහොම ටික දෙනෙක් තමා ඒ ලියවිල්ල නැතිනම් සැලැස්ම වෙනස් කර ගන්නේ.  ඒක තේරුම් ගන්න නම් ඉතිහාසය හදාරන්න ඕන. එක එක යුග වල එක එක ජීවිත මෝස්තර. (Life Style)වර්ණය ජාන වලින් ආවත් වර්ණ භේදය ජාන වලින් එන්නේ නැහැ. ඒක එන්නේ ඒ යුගයේ ජීවත් වූ මිනිසුන් ගෙන්. ආගම් බේද, ජාති බේද, පක්ෂ බේද, කුල බේද මේ සියල්ල ඒ වගේ. මම බිහි උනෙත් මේ සියලුම බේද හිතා මතාම ඇති කරපු කාලයක.

මගේ මුතුන් මිත්තන්ටත් ඒවා ඒ විධියටම ලැබිල තිබුනා. එයාලවත් දන්නේ නැහැ එයාලට කොහොම ජාතියක් ආගමක් පක්ෂයක් කුලයක්  කොහොම ලැබුන ද කියලා. කවුරු හරි කිව්වොත් ජාතියක් නැහැ කියල ජාතියක් ජම්මයක් නැති උන් කියල දෝසෙකුත් වැටෙනවා. ආගමක් නැහැ කිව්වොත් ආගමක් ධර්මයක් නැති උන් කියල කොන් කරනවා.