Tuesday, November 3, 2020

ගමන 4

ගමන 4


ඔන්න ඔහොම කාලෙක තමයි මම හෙමින් හෙමින් මේ ලෝකය හඳුනා ගන්නේ. පවුලෙ බාලය නිසා වෙන්න ඇති ඉතින් අම්මට ම ඇලිල තමයි ළදරු අවදිය ගෙවුනේ. අම්ම නැති වෙලාවක් ගැන මට හිතා ගන්නවත් බැහැ. කුඩා කාලෙ මම ඇඳුම් ‍අඳින්න කිසිම කැමැත්තක් දැක්වූයෙ නැහැ ගමනක් යනවිට හැරෙන්නට. ගෙදර ඉද්දි නම් ඇඳුමක් නැතිවම තමයි හිටියෙ. ඒක මට හරි පහසුයි. නාන්න එහෙම මාර බයයි. අම්මගෙ කිමෝනාවෙ එතිල තමයි හිටියෙ හැම විටම. අම්ම කුමන වැඩක යෙදිල හිටියත් මම එතන. නිදා ගත්තෙත් අම්ම ලඟමයි.

මං කුඩා කාලේ කන බොන වෙලාවල් ඇරුණම ගෙදර හැමදෙනාම එකතු වෙන තව වෙලාවක් තිබුන. ඒ තමයි හවසට යාඥා  කරන වෙලාව. බොහෝ විට හවස හය හමාර හත වෙනකොට වගේ ඒක ආරම්භ වෙනවා. ගෙයි මැද සාලයේ ලොකු රටා දාල වියපු පැදුර එලනවා. ගෙදර හැම දෙනාම එනව ඒ වෙලාවට. මොන වැඩක් තිබුනත් ඒව නවත්වල එන්න ඕන. බිත්තියේ ගහපු ලොකු වේදිකාවක් වගේ තැනක ජේසු තුමාගේ සුරුවම තියල තිබුන. තව දේව මෑණියන්ගේ සුරුවම.(මරිය තුමීගේ) දෙපසින් පිත්තල මල් පෝච්චි. පහතට වෙන්න කතිසල් දෙකක් ඉටි පන්දම් පත්තු කරන්න. පහතම තට්ටුවේ හරි මැද රතු පාට වීදුරු පොල්තෙල් පහන. ඒකෙ රන්වන් පාටින් කුරුසිය ගහල.

යාඥාව ආරම්භ වෙන්නේ කලින්ම මල් තියල පොල්තෙල් පහන දැල්වීමෙන්.  මුලින්ම කට්ටියම එකට ශාන්ත කුරුසිය අඳිනවා. දෙවනුම පරමණ්ඩල යාඥාව. ඊ ලඟට නමෝ මරිය තුනක්. පිතා පුත්‍රයා දාල කියන යාඥා දෙකක් තියනවා.  මාගේ දෙවියනි...... ඊ ලඟට පළමුවැනි අභිරහස. ඊ ලඟට පළමු වන කොන්ත පන්තිය.  හැම දෙනාටම කොන්තයක් තියනවා. ලොකු අම්මාගේ බර රීදී  කුරුසිය සහිත කලු ලොකු ඇට සහිත කොන්තය. තාත්තා ගෙත් එහෙමයි. ලොකු තාත්තා ගෙත් ඒවගෙයි. අම්මාටත් ගෙදර හැම දෙනාටමත් කොන්ත තියනවා. කොන්තයක් කැඩුනොත් එහෙම ඒව හදා ගන්නත් උපකරන වගේම අමතර කොන්ත ඇට සහ කම්බි කොකු වගේ අමතර කොටස් මේස ලාච්චුවක තිබුන.

කොන්ත පන්ති පහක් කියවල ඉවර උනාම අපි පොඩි අය ඒවා අරං පැදුරෙ වාඩිවෙලා විවිධ රටා හදනවා. ඒක එක්තරා විනෝදයක්.

ඒ අතර ලොකු අය තව දුරටත් යාඥා කරනවා. යාඥා නිධානය පොත බලාගෙන එක් අයෙක් ප්‍රාර්ථනාව කියවනවා. අනික් අය පිළිතුරු දෙනවා.  දන්තමය ගෝපුරෙනි.....අප නිසා යාඥා කළ මැනව......ආදී වශයෙන්. සේරම කරල යාඥා පොත හා කොන්ත මහත් භක්තියෙන් ඉඹල අරං තියනවා. කොන්තය නැත්නම් ජපමාලය දිනපතා කීමෙන් නිවසට හා පවුලට ආශීර්වාද ලැබෙනවා කියන අචල විශ්වාසය වැඩිහිටි කා තුලත් තිබුනා. අපිටත් ඉබේටම ඒ විශ්වාසයන් ඇති උනා. කිසිම ප්‍රශ්න කිරීමක් නැහැ. අවුරුදු පහලොවක් විතර යනකම් ඒ ගැන ප්‍රශ්න කලේම නැහැ.

රෑට කෑම කන්නෙ ඊට පස්සෙයි.

ඔය වෙලාව එනකොට ඉතින් හිටගෙන හිටියත් නින්ද යනවා. සමහර වෙලාවට යාඥා කරන පැදුරෙම නින්ද යනවා. කොහොමත් කෑම කන්නෙ නැතිව නිදා ගන්න දෙන්නේ නැහැ. කවුරු හරි කවනව. නිදා වැටි වැටි කනවා. ඒත් සමහර දවස් තියනවා කොහෙත්ම නිදි මත නැහැ. යාඥාව ඉවර වෙලත් සියලුම අය පැදුරෙම වාඩි වෙලා ඉන්නවා. වැඩිහිටියො විවිධ මාතෘකා කථා කරනවා.

කෑමෙන් පස්සෙ ඉතින් නිදා ගන්න තමයි තියෙන්නෙ.  පොඩිකාලෙ නිදා ගන්න කියල වෙනම ස්ථිර තැනක් තිබුනෙ නැහැ. පැදුරක හරි ඇඳක හරි ලොකු කෙනෙක් ලඟ තමයි. අඳුරට තියන සහජ බය නිසා නින්ද යන කං වත් ලොකු කෙනෙක් ඉන්න ඕනා.

පහු කාලෙක මං කල්පනා කරන්න ගත්ත ඒ ජීවන රටාව ගැන. ඒක එහෙම උනේ මං කුඩා කාලෙම මුහුණ දුන්නු ගැටුමක් නිසයි.


ඒකත් කියමුකො ඉතින්.


අපේ ගේ තිබුනේ කුඩා ඉඩමක. මම හිතන්නෙ ඉඩම හතරට බෙදුවොත් එක මුල්ලක. එක් පසකින් ගම්සභා පාර. ගුරු පාරක්. ඉඩම වටේටම කටු කම්බි වැට. එක මුල්ලක පාර අයිනේ ගේට්ටුව. දැන් වගේ මිනිහෙකුට වත් එන්න බැරි විදියට උස තාප්ප දාලා ලොකු ගේට්ටු දාන්නේ නැහැ. හරකෙක් ඇවිත් පොල් පැල හා අනික් එලවලු පැලයක් කයි කියල තමයි ආවරනය කරල තියෙන්නේ. අනික් පසින් ආච්චිගේ නිවස තිබුන ඉඩම. ආච්චි කියල අපි කිව්වේ අපේ අම්මගෙ පියාගේ නංගිටයි. අම්මගේ පියාට අපි කිව්වෙ ලොකු තාත්තා කියලයි. ලොකු අම්මත් ජීවත් උනේ අපි එක්කමයි. මේ ඉඩම අයිතිය තිබුනේ ලොකු තාත්තටයි මගෙ හිතේ. මට මතක කාලෙදි ලොකු තාත්ත වැඩ කළේ ඈත වත්තක. මැල් වත්ත  කියලයි අම්මල කියන්නෙ. හලාවත පුත්තලම පාරෙ මංගලඑලිය කියන ගමේ. ඒ ගමෙත් කතෝලික පල්ලියක් හා පාසලක් තිබුන. අපේ තාත්තා ගුරුවරයෙක් වෙලා මුල් කාලෙදි ඒ පාසලේ උගන්වන්න ගිහින් තියනවා. ඒ අතර තමයි අපේ අම්මව විවාහ කරගෙන තියෙන්නෙ. කවදා  කොයි කාලෙකදි මේ ගෙදර පදිංචියට ආවද දන්නේ නැහැ.  මුලින්ම අපේ අම්මට නිවුන් දරුවො ලැබිල තියනවා. ඒ දවස්වල දරුවො ලැබෙන්න ඉස්පිරිතාලෙ යන සිරිතක් නැහැ. ගෙදරම තමයි.  උදව්වට වින්නඹු අම්ම කෙනෙක් ව ගෙන්වා ගන්නවාලු.  කොහොමත් ඒ දෙන්නට ඒ තරම් දින ගණනක් ජීවත් වෙන්න වෙලා නැහැ. ඉපදිලා දින ගණනකින් මිය ගිහින්. ඔය සේරම ඉතින් මහ අය කථා කරන කොට අහගෙන ඉඳල තමයි දැන ගත්තේ.
මම දැනගන්න කාලෙදි තාත්තා වැඩ කළේ වලහපිටිය පාසලේ.
මට මතක කාළෙදි ලොකු අයිය ගෙදර හිටියෙ නැහැ.  එයා නැවතිලා ඉගෙන ගත්තේ මාරවිල පුංචිසෙමනේරියේ. ශාන්ත සේවියර් විදුහල.