Thursday, August 16, 2018

ගමන - 3

මව් කුසේ ඉඳල එලියට ආවේ මාදම්පෙ, ඉරට්ටකුලමෙ ගෙදරකට. 

1958 පෙබරවාරි මාසේ 11 වැනිදා රාත්‍රි 11.45 ට විතර. 

තාත්තා ඒ වෙලාවෙ ඉඳල තියෙන්නෙ නාත්තනඩියෙ ලූර්දු පල්ලියෙ සන්ධ්‍යා මෙහෙයට ගිතිකා කණ්ඩායමේ වාදනයට සහභාගි වෙමින්. 

පණිවිඩය අරං ගෙදර වැඩට හිටපු කොල්ලෙක් ව ඒ මහ රෑම පිටත් කරල තියෙන්නෙ අපේ ලොකු අම්ම වෙන්න ඇති මගේ හිතේ. උන්ද අන දුන්නොත් මොන සක්කරයද බල බල ඉන්නෙ.  

දෙයියො තමයි දන්නෙ  ඒකා කොහොම ගියාද කියල. 

ඒ කාලෙ දැන් වගේ ගමනාගමනය දියුණු නැහැ. සන්නිවේදනය දියුණුත් නැහැ. 

කොහොමහරි පණිවිඩය අහල තාත්ත ත් රෑම ආවයි කියමුකො. 

පහුවදා උදෙන්ම මෙන්න තාත්ත  ආයෙ පල්ලියෙ. මංගල්‍ය පූජාවට කන්තාරු කරන්නත් ඔනනෙ. එහෙම තමයි අපේ තාත්තගෙ හැටි. වැඩක් භාර ගත්තොත් ආයෙ මොන බාධාව ආවත් මග අරින්නෙ නැහැ. ගෙදර මොන ප්‍රශ්න තිබුනත් මුලින්ම රාජකාරිය. රාජකාරිය කිව්වට තාත්ත ඒව සැලකුවෙ දේවකාරියටත් ඉහලින්. මම හිතන්නෙ තාත්ත ඒ රාජකාරි, දේවකාරි සේරම පුදුම විධියට වින්ද කියලයි. අපේ මස් ලේ නහර වලටත් කිඳා බැස්සෙ ඒ ආරෙම තමයි.  අපි කව්රු උනත් මේ මොහොතෙ කරන වැඩට ආදරය කරන්න ඕනා. 

මම මේව ලියන්න ගත්තේ ඉපදිලා දශක හයකට පස්සෙ. ලියන්න තරම් දෙයක් තියනව කියල හිතුණු හින්ද. සමාවෙන්න ඹ්න. මේ සටහන සංස්කරණයෙන් තොරයි. (unedited story).  මෙ සටහන මගෙ යහලුවා තව පින්තාරු කරල ගනීවි.

තාත්ත ව දැකල සුවාමි ඇහැවිවලු '' පුතෙක්ද දුවෙක් ද බං'' කියල.පුතෙක් කීවම සුවාමි නමක් ලියල දුන්නලු '' ලූර්ඩ්ස් මේරියන් බර්නාඩ්'' කියල.ඊට පස්සෙ ඉතිං කී දෙනෙක් නම් මට නම් හැදුවද? 

ගෙදරට සාන්ති. ආදරේට සාන්තිය. අයියල අක්කලට තරහ ගියාමත් සාන්තිය. චාටුවක් කරල රවට ගන්න ඕන උනාම සාන්ති මල්ලි. අම්මට සාන්තිනී.  තාත්තට හැමදාම සාන්ති පුතා. රෙජීමාමා, ඔස්ටින් අන්කල් එහෙම කථා කලේ ගාම්භීර විදියට ''ශාන්ති" කියල. නෑදෑ නංගිල මල්ලිල කිව්වෙි සාන්ති අයිය කියල. පහු කාලෙක ගුරුවරුන්ට ලූඩ්ස් , යහලුවන්ට ලූඩා. මේ  හැම ආමන්ත්‍රණයක් එක්කම මට දැනුනෙ පුදුම ආදරයක්. 

ඒ ආදරය තමයි ලෝකය ගැන මා තුල මහා විශ්වාසයක් ගොඩ නැගුවේ.   

ඉපදුන ගමන් පොඩි එකා ගැන මොනවා ලියන්නද? අක්ක නම් කියන්නෙ එයාට තාත්ත මාව පෙන්නපු වෙලාවෙ එයාට නම් පෙනුනෙ කලුම කලු ගුලියක් වගේලු.  මේ කලු කම පහුකාලෙක මට මහත් වාසි  ගෙනාව වගේම මහ අමිහිරි අවස්ථාවලුුත් මට  ගෙනාව.  නම් පටබඳින අය දැම්මෙ මාර නම්.

දෙම...., ප........,  උ........,  හි........,     ......... තොර තොංචියක් නැතිව කියවගෙන යනවා.

කාගෙ කාගෙ හරි ජාන උැරුම  කර ගෙන මේ ලා්ෙකෙට ආවා කියමු කො.  ඉතින් පරිසරය ලබා දීපු කාල අවකාශ වක්‍රය දිගේ අවුරුදු හැටක්  ආපු විධිය බලමු. මම දන්නවා මගේ  නෑ හිත මිතුරු කවුරුත් ආශාවෙන් බලාගෙන ඉන්නවා ඔය කථාව කියවන්න. 

 

මේ බලු පැටිය බෘෘනා. අපේ ගෙදරට අාවේ අහම්බෙන්. වෙලාවකට හිතෙනව උන්ගෙ ජීවිතත් අපේ  වගේමයි කියල.  කව්දෝ පාර දාල ගිහින් කඩපිල් ගානෙ රස්තියාදු  වෙනකොට ගුණවතී අක්ක අපේ ගෙදරට ගෙනල්ල දුන්න.  දැන් ජාති  බේද  වර්ණ  බේද බලන්නෙ  නැතිව ඔය යහලුවෙකුත්  හොයා ගෙන  ඔය ඉන්නේ අපූරුවට.  යහලුවාගෙ නම බෙගී. (බෙගිමොත්)
බලු පැටිය බෲනා ගැන තව විස්තර කරන්න හේතුවක් තියනවා. ගුණවතී අක්කා එයාව අපේ ගෙදරට අරං එනකොට එයා ගැන බලන්නත් දුකයි. අපරාදෙ මට ඒ වෙලාවෙ එයාගෙ ඡායාරූපයක් ගන්න බැරි උනා. අව්වට වැස්සට වගේම කුසගින්නේ හිඳීමෙන්  හිටියේ වෙව්ලමින්. ඇටකටු පෑදිලා. ක‍ෙඳිරි ගාගෙන හරිම බයාදු විදියටය් අපි දිහාව බැලුවෙ.
අපේ ගෙදර ඉතින් මේ වගේ අයට අභය භූමියක්. ඒ වෙනකොට තව දෙන්නෙක් හිටිය. ඒ දෙන්නම බළල්ලු. මගේ බිරිඳත් පොඩිදුවත් ලහි ලහියේ ඌට අවශ්‍ය කරන කෑම, බෙහෙත්, නිදා ගන්න තැනක් මේ හැම දෙයක්ම සැපයීම ආරම්භ කළා.  මම මේ සේරම බලා ගෙන හිටියා.
ඒ එක්කම සාකච්ඡා ආරම්භ උනා එයාට අපේ ගෙදර නවතින්න දෙනවද නැද්ද කියන එක ගැන. මට එක පාරටම හිතට ආවේ ඌ සරණාගතයෙක් කියන අදහස. මමත් මගේ කැමැත්ත දුන්න. (මම කැමැත්ත දුන්නත් නැතත් ඒවා දැන් තීරණය කරල ඉවරයි.)


කාල බීල ඌ දිග  නින්දකට වැටුනා. ඒත් වරින් වර බය වෙලා කෑ ගහගෙන නැගිටිනවා. දොරක් ඇරෙන සද්දටෙත් බය වෙලා කෑ ගහනවා. ඒ බය ඇරෙන්න දින ගණනාවක් ගියා. දැන් එයාගේ මුහුන බලන කොට එයා ඉන්නෙ කොපමණ සතුටකින්ද කියල පෙනෙනවා.
දැන් ගේ පුරාම දුවන හරිම ක්‍රියාශීලී බලු පැටියෙක්. ආදරයට කරුණාවට මොන තරම් දෙයක් කරන්න පුළුවනිද. කිසිම වියදමක් නැතිව අපට කාට වුනත් දෙන්න පුළුවන් දෙයක් නේද?


දැන් ඉතින් මගේ කථාවට එමු.


මගේ ළදරු වියත් ලමා වියත් ගෙවුනෙ ආදරය උතුරා යන නිවසක. අම්මා තාත්ත විතරක් නොවේ ලොකු තාත්ත, ලොකු අම්ම අයියල අක්ක නෑදෑ හිතවත්තු කවුරුත් ඒ සම්බන්දයෙන්  මට ණය නැහැ. ගතින් මනසින් වැඩෙන කොට මට ලොකුම පිටිවහලක් උනේ ඒ ආදරය සහ රැකවරණයයි. ඒ අතින් මම හරිම වාසනාවන්තයෙක්.

අපි ඉපදෙන කොටම අපේ ජීවන රටාව ලියවිලා ඉවරයි.  බොහොම ටික දෙනෙක් තමා ඒ ලියවිල්ල නැතිනම් සැලැස්ම වෙනස් කර ගන්නේ.  ඒක තේරුම් ගන්න නම් ඉතිහාසය හදාරන්න ඕන. එක එක යුග වල එක එක ජීවිත මෝස්තර. (Life Style)වර්ණය ජාන වලින් ආවත් වර්ණ භේදය ජාන වලින් එන්නේ නැහැ. ඒක එන්නේ ඒ යුගයේ ජීවත් වූ මිනිසුන් ගෙන්. ආගම් බේද, ජාති බේද, පක්ෂ බේද, කුල බේද මේ සියල්ල ඒ වගේ. මම බිහි උනෙත් මේ සියලුම බේද හිතා මතාම ඇති කරපු කාලයක.

මගේ මුතුන් මිත්තන්ටත් ඒවා ඒ විධියටම ලැබිල තිබුනා. එයාලවත් දන්නේ නැහැ එයාලට කොහොම ජාතියක් ආගමක් පක්ෂයක් කුලයක්  කොහොම ලැබුන ද කියලා. කවුරු හරි කිව්වොත් ජාතියක් නැහැ කියල ජාතියක් ජම්මයක් නැති උන් කියල දෝසෙකුත් වැටෙනවා. ආගමක් නැහැ කිව්වොත් ආගමක් ධර්මයක් නැති උන් කියල කොන් කරනවා.