Thursday, April 9, 2020

ජේසු සහ අපේ ජීවිත


Why did Jesus die? | Bibleinfo.com


අද 2020 අවුරුද්දේ මහ සිකුරාදා දිනය 10-04-2020. අද වෙන මහ සිතුරාදා දිනවලට වඩා වෙනස්. කොරෝනා වෛරසය නැත්නම් COVIT-19 ලොව පුරා පැතිර යමින් මිනිස් සමාජයට විශාල අභියෝගයක් එල්ල කරන අවස්ථාවක්. බොහෝ අයට මරණ භය දැනුනු අවස්ථාවක්.  මීට අවුරුදු 2020 කට පමණ කලින් ජේසුව කුරුසියේ එල්ලා මරණ කාලයේදිත් ලාදුරු වගේ වසංගත මහ පොළව මත පැතිර තිබුනු බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මහ බල සම්පන්න රෝම අධිරාජ්‍යය ජේසු ජීවත් වූ ප්‍රදේශයේ බලය පතුරවගන ඉඳලා තියනවා. එතරම් බල සම්පන්න රෝම අධිරාජ්‍යයටත් ඒ වෙලාවේ ලාදුරු වසංගතයට පිළිතුරක් තිබුනේ නැහැ. එම රෝගීන් ව සමාජයෙන් පිටුවහල් කරල ජනාවාසවලින්  ඈත් කරල තියන එක තමයි කරන්න තිබුනු එකම දේ.


ජේසු ව අනේක විධ වද හිංසා වලට පමුණුවලා පැය ගණනක් පිපාසයෙන් පෙළෙමින් කුරුසියක එල්ලා මරා දාන්න ඔහු කළ වරද කුමක්ද?


සැම විටම සත්‍ය පැවසීමයි. බොරු නොකීමයි.

සාධාරණ දිවි පෙවෙතක් ගත කිරීමයි. අසාධාරණයට සැම විටම විරුද්ධව කථා කිරීමයි.

යුක්තිය කුමක්ද යන්න පොදු ජනයාට  ඉගැන්වීමයි.

පරාර්ථකාමී ප්‍රේමය යන්න ජීවිත ආදර්ශයෙන්ම පෙන්වා දීමයි.


එකල සිටි ධනවතුන්ටත් බලවතුන්ටත් නිලධාරීන්ටත් වහ කදුරු වුනේ එම දිවි පෙවෙතයි.


මරණයට පෙර දින ඔහු අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටියේ කුමක්ද?


ලොකු අයියාගේ සිතුවිල්ලක් නිසා අවදිවූ නිසයි මමත් ලියන්න ගත්තේ. පහතින් තියෙන්නේ ඔහු ලියූ දෙයයි.



“ජීවිතය වෙනුවෙන්

ජීවිතය දෙන්නට

ජීවිතය විසින්ම

අපට

වගකීම් පවරනු ලැබූ
දිනයයි අද.

මහ බෘහස්පතින්දා.

විසි හතර පැය පුරා

එය කළ හැකි

මං සොයා ගනිමු.“


                                                      --- ග්ලෙනී ප්‍රනාන්දු. ----


අද තත්වය කුමක්ද?


අද දවසේ යථාර්තය කුමක්ද?


මුලු සමාජයම මෙතරම් ආත්මාර්ථයෙන් මුසපත් වූ කාලයක් සිතා ගත හැකිද?


ලාභාපේක්ෂාවම අරමුණු කරගත් මහා ජාතීන් එකිනෙකාට එරෙහිව අවි අමෝරාගෙන ඉන්නා කාළයක්.

අවශ්‍යම ‍ෙඔෟෂධය නිපදවා ගත නොහැකි වුවත් මහ මිනිස් සංහාරයක් තත්පර ගණනකින් කරන්න තරම් අවි ආයුධ මේ කවුරුත් ලඟ ඕනෑම මොහොතක සූදානම්


ලාභාපේක්ෂාවම අරමුණු කරගෙන නිපදවන මානවයාට පිලිකාව, දියවැඩියාව, හදවත් රෝග, වකුගඩු ආබාධ පතුරුවන ආහාර වර්ග ගැන අමූලික බොරු පතුරුවන වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන ජන මාධ්‍ය පැය විසිහතරම ක්‍රියාත්මකයි. එම වෙළඳ දැන්වීම් වල පෙනී සිටින ශිල්පීන් ද තමාට ලැබෙන මුදල් වලටම වහල් වී ජනතාව නොමග යැවීමට කටයුතු කරති.


ජනතාවට සත්‍ය පහදා දියයුතු ආයතනත් වෘත්තිකයෝත් ඒ වෙනුවට තම තමාගේ සුඛ විහරණය සඳහාම ජනතාව ගසා කෑමේ යෙදී සිටී.  මහා බලකොටු මෙන්වූ දේවස්ථානද මස්ජිද ද බෝධි ප්‍රාකාර හා වෙහෙර විහාර ආරන්‍ය සේනාසන ඉදි කරති. එකිනෙකාට එරෙහිය මරා ගන්නට පමණක් ජනතාව පෙළ ගස්වති.


වමතින් දෙන දෙය දකුණතට නොදැනේන දෙන්න කියා කියූ ජේසුගේ වදන තිබියදී පිටුපසින් යන කැමරා ආම්පන්න පිරිවරාගෙන පේස්බුක් පිටු පුරවමින් මහ මගට බැස නැවත බලය තහවුරු කර ගැනීම සඳහා ඡන්දය හිඟා කති.


ආබාධිත දැරියන් පවා දූෂනය කරති.




ඉතින් අපට බලාපොරොත්තුවක් ඇත්තේම නැද්ද?

යුගයේ මෙහෙවර වටහා ගත් අතලොස්සක් මුලු ලොව පුරාම විසිරී සිටිති.

ඔවුන් ගේ ගොඩට එක් වෙන්නට අපට කළ හැකි දෙයක් කරමු.

මේ ආත්මාර්ථ කාමී ජීවන රටාව වෙනස් කර එකිනෙකා සමග බෙදා හදා ගෙන ජිවත්විය හැකි සමාජයක් වෙනුවෙන් වෙහෙසෙමු.


බැංකු මාෆියාව, බල ශක්ති මාෆියාව, ඖෂධ මාෆියාව, අවි ආයුධ මාෆියාව, මත් ද්‍රව්‍ය මාෆියාව ආදියට එරෙහි වන්නට පෙර අප තුලම ඇති ආත්මාර්ථය නැමති මාෆියා සිතිවිල්ලට එරෙහි වෙමු. ලාභාපේක්ෂාව පළවා හැර සැමදෙනාගේම පැවැත්ම වෙනුවෙන් කටයුතු කරමු.


ඉවසීම කරුණාව දයාව ආදියෙන් සන්නද්ධ වෙමු. දැනුම බුද්ධිය වර්ධණය කරමු. සත්‍ය කථා කරමු. සත්‍ය වෙනුවෙන්ම පෙනී සිටිමු. බොරුව හෙලා දකිමු. සාධාරණත්වය වෙනුවෙන්ම මුර ගසමු. යුක්තිය වෙනුවෙන්ම සාපිපාසා වෙමු.  තමාට මෙන්ම තම අසල්වැසි ගහකොළ සතා සීපාවටාත් ආදරය කරමු. මිහි මව මත පාරාදීසිය මවමු.