Sunday, May 3, 2020

ගුරු පියවරු ගුරු මව්වරු ගැන ඔවුන්ගේම දරුවන්ගෙන් අහමු.



අපේ තාත්තා.


මේ ලෝකෙ මම දුටු සැහැල්ලුම මිනිසා
වසර සියයක් ජීවත් වූ වෘත්තියටම කැප වූ ගුරුපියා


වර්ණකුලසූරිය විලියම් ඇල්බට් ප්‍රනාන්දු.
මා දන්නා තරමින්ඉපදුනේ හලාවතට නුදුරු කන්ජුක්කුලිය ගමේ. පියා මට්ටකොටුවේ. මව මාතර හක්මන. ඒ දෙන්නා ගැන වෙනම ලියන්න ඕන. කොහොම හමුඋනාද කියල දෙයියො තමයි දන්නෙ.  අපේ තාත්තාට වැඩිමහල් සහෝදරයෙක්, බාල සහෝදරියක්, හා මල්ලිලා දෙන්නෙක් තමයි පවුලෙ ඉඳල තියෙන්නෙ. කියන හැටියට ඉගෙනගෙන තියෙන්නෙ ඉතා දුෂ්කරතා රාශියක් මැද. ගණිතයට වගේම සංගීතයටත් තව බොහෝ දේවල් වලටත් තාත්තාට සහජ හැකියාවන් පිහිටලා තිබුනා.

පාන්දර තුනට විතර නැගිටලා හලාවත සා. මරියා කොලීජියට තමයි ඇවිත් තියෙන්නේ පා ගමනින්ම. අද කාලෙනම් අපි හිතන්නෙවත් නැහැ එහෙම යන්නට.

මට මතක කාලෙ තාත්තා වැඩ කළේ හලා/වලහපිටිය රො. ක. පාසලේ. මුල් ගුරුවරයා ලෙස.
ඊට පෙර මංගලඑලිය, මුන්දලම, තල්ගහපිටිය, කැලේගම, ආදී පාසල් වලත් අවසාන පාසල ලෙස මැදගම අභය ප්‍රාථමික විදුහලේදී විශ්‍රාම ගන්නා තෙක් සේවය කරලා තියනවා.

තාත්තා උගන්වපු නැති විෂයයක් නැහැ. පල්ලියට විශේෂ ලැදියාවක් තිබුනා. ඒ සංගීතයට තිබුනු ලැදියාව නිසයි මං හිතන්නෙ.  හර්මෝනිය නැතිනම් ඕගනය හෝ සරපිනාව එහෙමත් නැත්නම් වයලීනය සමග ඹහු අනිවාර්යයෙන්ම කන්තාරු කණ්ඩායමේ හිටියා.
මුල්ම කාලේ ගුරු පඩිය රු විසිහතක් තියෙනකොට රු 490 කට රාමචන්ද්‍රන් වර්ගයේ සරපිනාවක් සහ වයලීනයක් මිලට අරං තිබුනා. අපිත් කුඩා කාලෙදිම සරපිනා වාදනයට හුරු උනා ඒ නිසා. එව තවමත් තියෙනවා මගේ සහෝදරයාගේ ගෙදර. එක් වරක් මට මතකයි කඩදාසි උරයක දා ගෙන කුඩු වෙලා ගිය වයලීන කැබලි වගයක් ගෙනල්ලා මහ පුදුම ඉවසීමකින් එහි කොටස් අලවා අඩුපාඩු කොටස් ලී කෑලි වලින් කපලා අලවලා ඒ වයලීනයත් හැදුවා. මහ විශ්ව කර්ම වැඩක්. කොහොම හරි වයලීන තුනක් තිබුනා.

ගොවිතැනටත්, වැවේ ගිහින් දැල් ගහල මාලු අල්ලන්ත්, හවස හය පහු වෙනකොට තුවක්කුවත් කර තියාගෙන වන රොදකට නැතිනම් වතුයායකට වදින්නත්, නොවරදින ඉලක්කයෙන් දඩයමත් සමග රෑ යාමේ ගෙදර එන්නත්, වඩුවැඩටත්, මේසන්වැඩටත්, චිත්‍රකර්මයටත්,  මූර්ති ශිල්පයටත්, හස්ත කර්මාන්තයටත්, විහිලු තහලු වලටත්, සත්ව පාලනයටත්, අංක ගණිතයටත් හැබෑ දක්සකමක් තිබුනේ.

තව ලියන්නම් කො අයියලා අක්කලාගෙනුත් අහල.

යටින් ලියන්න ඔයාලාගේ තාත්තලා ගැන.

1 comment: