Sunday, April 24, 2022

ගමන - 5

කලකින් ගමන ගැන ලිව්වෙත් නැහැ. ඒ තරමටම ගමන දුෂ්කරයි.  ගමන තියා නැවතිලා හිටියත් දුෂ්කරයි.  

සදාකාලිකයි කියල හිතන හැම දෙයක්ම චක්‍රිය යි. සූර්යයා පවා යන්නේ චක්‍රිය ගමනක්.  රාශි 12 ක් පහු කරල අපි අන්තිම එක කියල හිතාගෙන ඉන්න මීන රාශියෙන් මේෂ රාශියට නැවත ඇවිත්. වෘත්තයක කොහෙද මුලක් අගක්. කොහොම උනත් කමක් නැහැ අපි අලුත් අවුරුද්දක් සමරල නැවත අලුතින් පටන් ගන්නවානේ.. ඉතින් ගමනත් අලුත් වෙනවා. 

කවුරු හරි ඉන්න හිතෙන රටක් හදයි. මම කරන වැඩ කොටස හැකිතාක් නිවැරදිව කාර්යක්ෂමව කරන එක විතරයි මට කරන්න පුළුවන් දේ. මං කරන වැඩ නිවැරදි වෙන්න නම් මම නිවැරදි වෙන්න ඕන.  අනුන් නිවැරදි කරන්න මට කරන්න පුළුවන් දෙයක් නැහැ කියල මට හිතෙන්නේ.  අනුන් විවේචනය නොකරන්න කියල තමයි බුදු හාමුදුරුවොත් දේශනා කරල තියෙන්නේ. තමාගේ දොසම හොයාගෙන එය නිවැරදි කරන්න කියලයි එතුමා කියන්නෙ. එසේ නොකරන්නා ස්වාභාවිකවම විනාශය කරා යන බව තමයි හැට පැනපු මගේ අත් දැකීම. 

වැරදි කරපු කිසිම කෙනෙක් කවුරුවත් ආරක්ෂා කරන්නේ නැහැ. එයාට වත් එයාව ආරක්ෂා කරගන්න බැරි බව තමයි ඒ පැත්තෙන් අපට තියන අත් දැකීම. ඒ නිසා අපි හැකිතාක් නිවැරදිව වැඩ කරමු.

අලුත් අවුරුද්දේ මම හැම දෙනාටම සුබ පතන්නේ නව ගමනක් ආරම්භ කරන්නයි.පසුගිය අවුරුද්දේ සිදුවූ සිත් රිදීම්, අත් වැරදි, අතපසුවීම් ගැන හොඳින් හිතල ඒවාට විසඳුම් කල්පනා කරගෙන ඒ බර බිමින් තියමු.

මේ අවුරුද්දේ තනිවම ගමන යන්න බැහැ කියලයි මට හිතෙන්නේ. අපි කවුරුත් එකතු වෙලා යන්න තියනවා නම් තමයි හොඳ. 

ඒ කොහොම වෙතත් දිනපතා අපි කරන වැඩ වල හැමදෙනාටම ආවේනික ක්‍රමයක් තියනවා. ඒක පුද්ගලික සැලැස්මක්. 

මගේ සැලැස්ම මම සංකේතාත්මකව ලියන විදියක් තියනවා.

P/S/R/B/M

මොකද කියන්නෙ. තේරෙනවාද,? 

P - Personal
ඒ කියන්නේ  මගේ් පුද්ගලික වැඩ. මගේ පුද්ගලික සෞඛ්‍යය ගැන හැට පැනපු අයෙක් විධියට නිතරම හිතන්න වෙනවා. ඒ එක්කම පවුලේ අයගේ කටයුතු. ඒවට මම මුල් තැන දෙන්නම වෙනවනෙ.
  
S - Studies
ජීවිතයේ  කවදාවත් ඉගෙනගැනීම නවත්වන්න බැහැ.  අධ්‍යාපනය නැවතුන දාට මේ ගමනත් නවතිනවා. හැමදිනයක්ම අලුත් පාඩමක්. මුලු අතීතය ම පාඩමක්. පුද්ගලිකව මේ දවස්වල සමාජවිද්‍යාව, ආර්ථික විද්‍යාව, හා සමාජ සංඛ්‍යානය විධිමත් විධියට හදාරනවා. මට නම් ජීවිතයම පාඩමක්. සොබාදහම අපට උගන්වලා ඉවර කරන්නෙත් නැහැනේ. හැම දිනයකම අලුත් පාඩමක්.
R - Relationships
ඔව්. මානව සබඳතා. මම තදින් විශ්වාස කරනවා මිනිසෙකුගේ පැවැත්මට හා සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධකයක් විධියට මානව සබඳතා - යහපත් මානව සබඳතා -  අපි හැම දෙනෙකුටම අත්‍යවශ්‍යයයි කියා. ඒනිසා මම නිතරම නව මානව සබඳතා අලුතින් ඇති කර ගැනීමටත්,  තිබෙන මානව සබඳතා නඩත්තු කර ගන්නත්, ඒවා මගේ ජීවිතයට අදාලව කළමනාකරණය කර ගන්නත්, මම මගේ කාලය හා ශ්‍රමය වැය කරනවා. මම එය සංකේතාත්මකව    HRMM  - .Human Relattionship Maitenance and Management  ලෙස දක්වනවා. එහි   HR  කියන්නේ  මගේ දැක්ම අනුව මානව සම්පත් නොවේ. මානව සබඳතා සඳහායි. මානව සම්පත් කියනවාට වඩා මානව සබඳතා කීවාම මට වඩා සමානාත්මතාවයක්  ජීවමය බවක් දැනෙනවා. ඒ නිසා මම හරි උනන්දු වෙනවා තනි තනි පුද්ගලයින් සමග වගේම  .One to One Relationships විවිධ මානව කණ්ඩායම් සමග ආයතන Human Grops and Teams සමග සබඳතා තර කර ගන්නට.

B - Business
මගේ එදිනෙදා කටයුතු හා ව්‍යාපාරික කටයුතු දෙකම මම සලකන්නේ   Business  විධියටමයි,  එතැනදී මම ඒ කටයුතු අංශ දෙකකින් ක්‍රියාත්මක වෙනවා.  පළමු වැන්න ශාමාසසංකේ. - ශාන්තී මානව හා සමාජ සංවර්ධන කේන්ද්‍රයේ කටයුතු අනෙක  Cshop. Online කටයුතු.  මේ දෙකම එක් අතකට ගවේශණාත්මක ගමන් දෙකක්. ඒ ගමන මම යන්නේ තනිවම නොවේ. මගේ විශ්වාසවන්ත මිතුරන් සමගයි. එම මිතුරන් මට හමු වන්නේ  පෙර කී මානව සබඳතා හරහායි. මම එම මිතුරු ජාලයට කියන්නේ TFN - Trusted Friends Network කියලයි.  විශ්වාසවන්ත මිතුරු ජාලයක්. සමූහයක්. ඒ ජාලයට ඔබත් අයිතියි. එ නිසයි මේ ලිපිය ඔබට කිවන්න ලැබෙන්නේ. 
මගේ මිතුරන්ටත් විවිද දර්ශනයන් තියෙනවා. ඒවාට අනුව ගොඩනගා ගත්ත ව්‍යාපාර තියෙනවා. ආයතන තියෙනවා.  මම නොබියව ඒවා එක්ක සම්බන්ධ වෙනවා. එය මගේ ගමනට සමාන්තර ගමනක් යනවාද කියන එක විතරයි මම බලන්නේ. මෙය සමාජයට සෙතක් කරන්න හිතාගෙන යන ගමනක්. අන් කිසිවෙකුත් විවේචනය නොකර යන ගමනක්. මට සමාන්තරව මම යන දිශානතියටම යනවා නම් මම ඔවුන්ගේ අත් අල්ලා ගන්නවා. ඕනෑම යහපත් වැඩකට සූදානම් දෑතකුත්, නිදහස් චින්තනයේ යෙදෙන සිතකුත්, හොඳ හදවතකුත් තිබේ නම් එය ප්‍රමාණවත්.
M - Music
සංගීතය - හැම පුද්ගලයෙකුටම යම් වින්දන ක්ෂේත්‍රයක් තිබිය යුතුයැයි මම අදහස් කරමි. එහෙත් වින්දන ක්ෂේත්‍රයක් පමණක් තිබීම ප්‍රමාණවත් යැයි මම හිතන්නේ නැහැ. කොහොම උනත් විවේකයේ දී මම සංගීතය රස විඳිනවා. ගිටාරයත් සමග තනි වෙනවා. මිතුරන් සමග විනෝද වන විට, වාදනයටත් ගායනයටත් මම කැමතියි. එවැනි අවස්ථා අපිව සහමුලින්ම අලුත් කරනවා. Refresh your mind onec in while.

මේ දවස් වල මොනවද කරන්නේ.?

හොඳ ප්‍රශ්නයක්. කවුරු හරි එහෙම අහන එක හොඳයි. නැත්නම් අපට ගමනේ ඉලක්කය අමතක වෙනවා. 

The most unavoidable human error is forgetting what one is trying to achieve.
-  Paul Nitze -

මම රුහුණු් විශ්ව විද්‍යාලයට සම්බන්ධ වෙලා විද්‍යාර්ථියෙක් විධියට සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව හා සමාජ සංඛ්‍යාණය යන විෂයයන් හදාරනවා.  ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණයත් පදනම් විෂයයන් විධියට හදාරනවා. වසර තුනක් එය සාර්ථකව කරගෙන යායුතුයි. මේ දවස්වල මගේ මූලිකත්වය දෙන්නේ ඒ කටයුත්තටයි.

ඒ සමගම මම විවිධ ආයතන සමග සම්බන්ධ වෙලා සමාජ සේවාවන් හා ව්‍යාපාර කටයුතු කරනවා. ග්‍රාමීය වැඩිහිටි කමිටුව, සියනෑ ගොවි සංවිධානය, රත්මලාන කම්කරු සෙවන, ප්‍රයිම් වේ ආයතනය, එවැනි ආයතන තුනක්. තව එවැනි ලොකු කුඩා ආයතන හා පුද්ගලයින් සමග මම වැඩ කරනවා. ඒ ආයතන ගැන මම වෙනම කථා කරන්නම්.


No comments:

Post a Comment